Friday, November 2, 2012

මගේ පුංචි පුතේ

කළු පාට දුම්වළා හිස උඩින්                 පාවුනා
කර්කශව ඉරි තැලුනු මහ පොළොව    වේලුනා
බොර පාට ජල කදක් වියරුවෙන්       හිනැහුනා
සංගෙ නැති ගැයුමකින් යකඩ කට     සැනහුනා

හෙටත් හිරු පායාවි තවත් දවසක්          දෙන්න
යළිත් සඳු පායාවි රැයට සිසිලස             දෙන්න
තවත්  තරු දිලිසේවි හිතේ තනිකම        යන්න
සරතැසට  සිදු වේවි තව බොහෝ       ඉවසන්න

මගෙ  පුතේ නුඹ අසන් තාම වැහි         වහිනවා
සුටික්කො බට්ටිත්තෝ තාම පැණි        උරනවා
සිරිපාදෙ නොයන මුත් සමනල්ලු        ඉන්නවා
උන්ගෙ කුස් පුරවන්න සුවඳ මල්        පිපෙනවා

නුඹට ජීවත් වෙන්න මා හැදූ ලොව        මෙයයි
කම්කටොළු දුක් ගැහැට දිනන්නට මහ ගොඩයි
මහමෙරක්  හිතේ මුත් අනේ මං         අසරණයි
ඒත් කිරිකැටි පුතේ නුඹට මං              ආදරෙයි

No comments:

Post a Comment