Wednesday, December 4, 2013

වැහි බර එක හැන්දෑවක

වැහි බර එක හැන්දෑවක
කෝච්චියේ මම යනකොට
මට හමු වුනු එක දෙනෙතක්
කීමට සැරසෙනු දුටුවෙමි
නොකී කතාවක්.....

කෙටි කතාව වගේ නෙමෙයි
නව කතාව හරිම දිගයි
පැල් බැඳගෙන කියවනකොට
කාලය ගෙවිලා යනවා
මොහොතක්වත් කොතැනකවත්
නවතින්නේ නෑ......

ඒක හින්ද ප්‍රවේසමින්
කරන දෙයක් ලොකු ළමයෝ
කලකට පෙර මියැදුණු අපෙ
මුත්තා ඇවිත් මට කිවා
එළිවෙන යාමේ හීනෙන්
ඇහැරෙද්දි මං.........

අනේ මන්ද බයත් හිතුනා
මොකින් මොකක් වෙයිද හිතුනා,


කතාවේ රසවත්ම හරියේ
පරිච්චේදයක් මැද්දෙදි
මන් දන්නෑ කොහෙද කියලා
ඉස්ටේෂන් එකක් ලඟදි
දනි පනි ගා කෝච්චියෙන්
බැහැ ගත්තා මං..........

Thursday, October 24, 2013

අතීතය සිහිනයක් පමණයි

ඔබට මතකද
අපේ පන්තිය
අයින දිගටම
පිපි තිබුණා
ඇහැල මල්....,

කිරිල්ලිය සේ තටු විදා ඔබ
පියාඹා යනු බලාසිටියෙමි
තෙමුණු දෑසින් ගොලුවෙලා,

බමර තුඩකින්
උදා අරුණේ
සිය පතක් මත
විල් තෙරේ හිද
නොලී ගීතය
තාම රැවූ දේ
සවනතේ...
හමු නොවීත් සමු ගන්න බැරි එකයි..,

කදුළුපිරුණා සිනා අතරින්
කෙලි දෙලෙන් ගත වූ යුගේ..
කවුරුවත් ඒ දන්නෙ නෑ
ඒත් ඔබ නොදැනත් නොවේ.
අකුරු කරනට සිත යොමා
නිහඩ කාලය ගත උනා..,

පුංචි පුතු අද වෙලා විජිතය
ඔබ නොදන්නා මගෙ ලොවේ...,

අතීතය සිහිනයක් පමණයි..
සැබෑ සුවදක් නෑ..
මටත් සිතුනා
ලගදී දිනකදී
මගදී ඔබ හමු වුනු වෙලේ...

Wednesday, October 23, 2013

එදා සහ අද

ගෙවී ගියේ දශකයකින් අඩයි....,

එදා නුරාවෙන් මා මත් කල
ඔය දුඹුරු පාට ඇස්වල
කාන්තිය මට තාම මතකයි..,

එහෙත් අද......

මාතෘත්වයේ දයාව
ස්නේහයේ සිසිලස
ඔය නෙත් වල
දොරේ ගලා යයි....,

මම අතරමන් වෙලා
යථාර්තයයි මතකයයි අතරේ.......

Tuesday, October 1, 2013

අම්මලාගේ විභාගයේ රිසල්ට්ස් ඇවිල්ලා..

අපේ පුතා උඩින් පාස්
එකසිය හැත්තෑ හතරයි..,
අනේ අපේ දෝණි ෆේල්
ලකුණු කියන්නත් ලැජ්ජයි..,
උදේ ඉදන් හැම තැනකම
කසු කුසු ඇහුනා..


අම්මලාගේ විභාගයේ රිසල්ට්ස් ඇවිල්ලා..


රෝයල් නම් බැරි වෙයි වගේ
ඩි එස් වත් සිලෙක්ට් වෙයිද


සතුට පිරුණු මුණු අතරේ
කදුළු පිරුණු මුණු අතරේ
අන්දමන්ද හිච්චි එව්වෝ 
අතරමන් වෙලා


මලක් පිපෙන හැටි බලන්න
මිදුලේ දුව පැන නටන්න
වරම් අහිමි ළමා වියක
උරුම කරුම කරගහගෙන
හෙට දිනයට පෙරුම් පුරන
අපේ පැටවූ...පවු නේද...!

Monday, September 30, 2013

බටනලාව

ඇහැලියගොඩ බස් නැවතුම
ලයිට් කනුව යටට වෙලා,
බට නලාව වයන වෙලේ
නුඹේ තාත්තා......,

ඒ සුමියුරු නද අහගෙන
තාත්තගේ ලපැත්තකින්
දෙනෙත් පියා නිදා උන්නු
රත්තරන් පුතේ........,

නුඹේ අම්ම කොහි ගිහින්ද............
අකුරු නුඹට උරුම නැද්ද..........

හිරු දෙය්යෝ නුඹට ගේන
හෙට දවසක …........,
කදුළු නැතිව සිනා සෙන්න ,
මහ මග හැර
වෙනත් තැනක්,
අරුමැසියක් නිසාම වත්
අනේ නුඹට ලැබේවිදෝ ,

නෙතට නැගුනු කදුළු තුළින්
බොඳ වුන නුඹේ රුව දුටු විට
මට සිතුනා.......